Collection of Biometrics from Passport Applicants (Sinhala)

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත් අයඳුම් කරන අයඳුම්කරුවන්ගෙන් ජෛවමිතික දත්ත ලබා ගැනීම

01. 2015 අංක 07 දරණ පනතින් සංශෝධිත 1948 අංක 20 දරණ ශ්‍රී ලංකා ආගාමික හා විගාමික පනතෙන් විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේදී විදේශ ගමන් බලපත් අයඳුම් කරන අයඳුම්කරුවන්ගෙන් ජෛවමිතික දත්ත (ඇඟිලිසලකුණු හා මුහුණෙහි අංකිත ජායාරූපයක්) අනිවාර්යයෙන් ලබා ගැනීමේ ක්‍රමවේදය 2015 අගෝස්තු 15 වන දින සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී.


02. 2018 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහත සඳහන් ක්‍රමවේදය ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍රයක් අයඳුම් කරන අයඳුම්කරුවන් සඳහා ද ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.ඒ අනුව 2018 ජනවාරි මස 01 දින හෝ ඊට පසුව ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා ශ්‍රී ලාංකීක ගමන් බලපත්‍රයක් අයඳුම්කර ස්වකීය ගමන් බලපත්‍රය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත  පැමිණ සිය ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු) ලබා දීම අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවෙන් නැවත පිටත්ව යාමට අවසර දෙනු ලබන්නේ මෙම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පමණි. මෙය අදාළ වන්නේ  වයස අවුරුදු 16-60 දක්වා වයස් සීමාව තුළ ගමන් බලපත් ලබා ගත් අයඳුම්කරුවන් සඳහා පමණි.


03. ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග - 
 (අ)  ඉහත 2 හි සඳහන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා විදේශ ගමන් බලපත් අයදුම්පත්‍රය (Kආකෘතිය) සංශෝධනය කරන ලදී.  මෙම අයදුම්පත්‍රයේ අයඳුම්කරුගේ ප්‍රකාශය අඩංගු කොටසෙහි (20 කොටස) අයඳුම්කරු විසින් අත්සන් කළ යුතුය. අයඳුම්කරුගේ ප්‍රකාශය අඩංගු කොටසෙහි අයඳුම්කරුගේ අත්සන රහිතව කිසිදු අයඳුම්පත්‍රයක් භාර නොගත යුතුය. සංශෝධිත ගමන් බලපත් සඳහා අයඳුම්පත්‍රය (Kආකෘතිය) ඇමුණුම ‘A’ වශයෙන් මෙයට අමුණා ඇත. (මෙම අයඳුම් පත්‍රය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා බාගත කළ හැකිය.) 
(ආ) ඇඟිලි සළකුණු ලබාදීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් පත්‍රිකාවක් සෑම අයඳුම්කරුවකු වෙතම නිකුත් කළ යුතුය. මෙමඋපදෙස් පත්‍රිකාව ඇමුණුම ‘B’  වශයෙන් මෙයට අමුණා ඇත. 
(ඇ)මේ  අනුව, විදේශ දූත මණ්ඩල  සිය වෙබ් අඩවි යාවත්කාලීන කිරීම නිර්දේශ කරනු ලැබේ. 
(ඈ) ගමන් බලපත් සඳහා සංශෝධිත අයදුම්පත්‍ (Kආකෘතිය) සියලුම ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවලට දෙපාර්තමේන්තුව මගින් සපයනු ලැබේ.


04.  ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග -
(අ)  විදේශ දූත මණ්ඩලයක් හරහා අයඳුම් කොට ගමන් බලපත්‍රයක් ලබාගත් පුද්ගලයන්  ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදී ආගමන විගමන කවුළුව (Immigration counter) වෙත නොගොස් සෘජුවම ප්‍රධාන ආගමන නිලධරයා වෙත වාර්තා කිරීම කළ හැකිය. එසේත් නැතිනම් ආගමන විගමන කවුළුව වෙත ගොස් ආගමන විගමන නිලධරයාගේ උපෙදස් අනුව ප්‍රධාන ආගමන නිලධරයා වෙත ඔවුන්ව යොමු කෙරෙනු ඇත.   අනතුරුව ප්‍රධාන ආගමන නිලධරයා විසින් සුවිශේෂි යොමු අංකයකින් යුත් ස්වයංක්‍රීයව නිකුත් කරනු ලබන (System generated) ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රිකාවක් (BDA පත්‍රිකාව) පිටපත් දෙකකින් යුතුව නිකුත් කරනු ලැබේ. මින් එක් ආකෘති පත්‍රයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජෛවමිතික දත්ත ලබා ගන්නා අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා එම පුද්ගලයා වෙත ලබාදෙනු ලැබේ.මෙම ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රය (BDA)  ඇමුණුම ‘C’ වශයෙන් අමුණා ඇත. 
(ආ) ගුවන් තොටුපළෙහි ජෛවමිතික දත්ත ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති බැවින් මේ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතුය.


05. ශ්‍රී ලංකාවට ඇතුළු වීමෙන් අනතුරුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග - 
(අ) ජෛවමිතික දත්ත ලබාදීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත හෝ එහි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට වාර්තා කළ හැකිය. මෙම කාර්යය සදහා විශේෂ කවුළුවක් (Special Counter) විදේශ දූත මණ්ඩල අංශයෙහි ස්ථාපිත කරනු ලබන අතර, ඇඟිලි සලකුණු ලබාදීම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ. 
 (ආ)ජෛවමිතික දත්ත ලබාදීමේදී සිදුවන අනවශ්‍ය  ප්‍රමාදවීම් වළක්වා ගැනීමට දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ   දිනය සහ වේලාව වෙන්කර ගැනීමට අන්තර්ජාල මාර්ගගත වෙන්කිරීමේ ක්‍රමවේදය(Online Booking) මගින් පහසුකම් සලසා ඇත.
(ඇ) ජෛවමිතික දත්ත ලබා දීමෙන් අනතුරුව  ජෛවමිතික තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණ කිරීම සනාථ කිරීමට අදාළව ස්වයංක්‍රීයව නිකුත් කරන ලද (System generated) සහතිකපතක් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අතර, විධිමත්ව ජෛවමිතික තොරතුරු ලබාදුන් පුද්ගලයන්ට ඹ්නෑම අවස්ථාවක රටින්  පිටත් වීමට හැකිවන පරිදි ප්‍රත්‍යන්ත පාලන පද්ධතිය යාවත්කාලීන කරනු ලැබේ.ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය නිම කිරීම සඳහා නිශ්චය කරන ලද කාලය සාමාන්‍යයෙන් විනාඩි 45 කි.
 (ඈ) මෙම ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය හේතුවෙන් දැනට භාවිතා කරන ගමන්බලපතෙහි ඇතුළත් තොරතුරු වල කිසිදු වෙනසක් සිදු නොවේ.